top of page
About Us

    වර්ෂ 1982 ජුලි මස 11 වන ඉරු දින රද්දොළුගම ශ්‍රී බෝධි මළුව මුලික කොට ගෙන රද්දොළුගම බෞද්ධ මහා සංගමය නමින් අප සංගමයේ ශාසනික සේවාව අභිමානවත් ලෙස ආරම්භ කරන ලදී. ප්‍රථම සභාපති ලෙස දිවංගත ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාත් ප්‍රථම ලේකම් ලෙස දිවංගත හෙක්ටර් කරුණාරත්න මහතාත් ප්‍රථම භාණ්ඩාගාරික ලෙස ඩී.පුංචිහේවා මහතාත් කටයුතු කරන ලදී. සංගමයේ ප්‍රථම පැවදි අනුශාසක හිමිවරුන් ලෙස පුජ්‍යපාද රද්දොළුවේ අමරවංශ ස්වාමීන් වහන්සේ, පූජ්‍යපාද රද්දොළුවේ විමලවංශ ස්වාමීන් වහන්සේ, පුජ්‍යපාද සීදුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ කටයුතු කරන ලදී. ගිහි අනුශාසකවරුන් ලෙස එවක කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේෂකර්මාන්ත අමාත්‍ය ගරු විජේපාල මෙන්ඩිස් මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඩබ්.ඩී.අයිලප්පෙරුම මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ දේපල කළමනාකාර ඩබ්.විජේරත්න මහතා කටයුතු කරන ලදී.

   

   රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැක්කේ බෞද්ධ පුරවැසියෙකු විය යුතු අතරම රද්දොළුගම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු විය යුතුය. රද්දොළුගම බෞද්ධ මහා සංගමය සදහා නිලධාරීන් පත්කර ගනු ලබන්නේ සෑම වර්ෂයකම ජනවාරි මස අවසන් ඉරු දින පැවැත්වෙන වාර්ෂික මහා සභා නිලවරනයේදීය. රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ සාමාජිකත්වය දරණ සියළුම සාමාජිකයන් එදින රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේ ධර්මශාලාවට එක් රැස් වී සංගමයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සදහා සභාපති ප්‍රමුඛව විධායක සභාවට නිලධාරීන් සත් දෙනෙකුත් ආගමික සංවිධායක වරුන් තිදෙනෙකුත් සහ කාරක සභාව සදහා රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ සියළුම කලාප නියෝජනය වන ලෙස නිලධාරීන් 39 දෙදෙනෙකුත් පත් කර ගනු ලැබේ.

 

    සෑම මසකම පුර පසලොස්වක පොහොය දින සීල සමාදාන වැඩසටහන් රද්දොළුගම ශ්‍රී බෝධි මළුව ප්‍රධාන කොට ගෙන පවත්වනු ලබන අතර එහි සුමධුර ධර්මදේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් වලින් පෝෂණය වේ. වෙසක් පොහොය සහ පොසොන් පොහොය දිනයන්හි 400 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී බෝධි මළුවේ සීල සමාදන් වන අතර සෙසු පොහොයන්හි 250කට ආසන්න ප්‍රමාණයක් සීල සමාදන් වේ.

  සෑම වසරකම වෙසක් පොහොය සහ පොසොන් පොහොය මුලික කොට ගෙන රටේ සුප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේලා රද්දොළුගම ශ්‍රී බෝධි මළුවට වැඩම්මවා රද්දොළුගම බෞද්ධ ජනතාවගේ දහම් පිපාසය සංසිදුවාලීම සදහා දායකත්වය ද සපයයි.

   මීට අමතරව සෑම දිනකම බෝධි පුජා පිංකම් පැවත්වෙන අතර ඒ අතර තුර දිවයිනේ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වැඩම්මවා ද විශේෂ ධර්මදේශනා පිංකම් සිදු කරනු ලැබේ. අප සංගමය මගින් කරන පිංකම් අතර මාසික භාවනා වැඩසටහන්, ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන් සදහා සිදු කරන ආශීර්වාද බෝධි පුජා පිංකම්, ඔක්තෝබර් මාසයේ දී සිදු කරනු ලබන කඨින පිංකම්, මාසිකව අඩු ආදායම් ලාභී පුද්ගලයන් සදහා අක්ෂි කාච ප්‍රධානය කිරීම වැනි පිංකම් වලින් අප සංගමය මගින් ආගමික කටයුතු සදහා දායකත්වය සපයයි. තවද ජාතික නිදහස් දින උත්සවය සහ සිංහල අළුත් අවුරුද්ද හිස තෙල් ගෑමේ උත්සවය ද රද්දොළුගම ශ්‍රී බෝධි මළුව මුලික කොට ගෙන අප සංගමය මගින් සංවිධානය කරනු ලැබේ. ඒ අතරම අප රටට ඇති වෙන ස්භාවික විපත් වලදී එම විපතට පත් ප්‍රදේශ වල සිටින ජනතාවට ශක්තියක් වන්නට සුභ සාධක කටයුතු වෙනුවෙන් ද අප සංගමය පෙනී සිටී.

     ඒ වගේම රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් රද්දොළුගම සමාධි බුදු මැදුරේ භාරකාරත්වය දරණ අතර ශ්‍රී බෝධි මළුවේ පැවැත්වෙන සියළුම පිංකම් සජීවීව සමාධි බුදු මැදුර පරිශ්‍රයේ ඇති ශබ්ද විකාශන යන්ත්‍ර හරහා  විකාශනය කරනු ලබයි. 

    රද්දොළුගම බෞද්ධ මහා සංගමය මගින් සිදු කරන ප්‍රධාන පිංකම් අතර රද්දොළුගම මිහිදු පෙරහර ප්‍රධාන තැනක් ගනී. වර්ෂ 1996 සිට වර්තමානය දක්වා ඉතාමත් අභිමානවත්ව මිහිදු පෙරහර සංවිධානය කරනු ලබයි. සංස්කෘතික නර්තනාංගයන් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව රද්දොළුගම මිහිදු මහා පෙරහැර රද්දොළුගම නිවාස සංකීර්ණය පුරා විදී සංචාරය කරයි.

      සුවහසක් බෞද්ධ ජනතාවට ආගමික කටයුතු සිදු කර ගැනීම සදහා පහසුකම් සපයමින්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ජනතාවට ශ්‍රවණය කිරීම සදහා ධර්ම දැනුමෙන් යුක්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ශ්‍රී බෝධි මළුවට වඩවමින් ප්‍රදේශය පුරා විශාල ශාසනික සේවාවන් වල යෙදෙන රද්දොළුගම බෞද්ධ මහා සංගමය හා එක්වීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

 

 

2015.12.24

 

bottom of page